2014 දෙසැම්බර් මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

දම්සක්පැවතුම් සුතුර ඇසුරෙන් බුදු දහමේ පදනම පැහැදිලි කරන ලිපි පෙළක සිව් වැන්නයි.

බොහෝ වෙලාවට දානයක් දීල ප්‍රාර්ථනා කරනව නෙ දෙව්-මිනිස් සැප? නිදුක්-නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව. එතකොට අත්හැරීම නම් ප්‍රාර්ථනා කළත් නැවත තෘෂ්ණාවට යනව.

අපි ප්‍රාර්ථනා කරන්ට ඕන නෑ. ඒ දෙන දේ ආනිසංස තියෙනව. දැන් බලන්න අපි සතෙක්, මදුරුවෙක් මරනවා. මරල කවුරුවත් ප්‍රාර්ථනා කරනවාද? මේ මදුරුවා මරපු අකුසල කර්මය හේතුවෙන් මාව නිරයට පත් වේවා කියල. නෑ. හැබැයි එහෙම නොකළා කියල ඔහු දුගතියට නොයා ඉඳියිද? ඉතින් අකුසලයක් කළොත් දුගතියට යනව වගේමයි කුසල කර්මයක් කරල ආයෙ ප්‍රාර්ථනා කර-කර ඉන්ට ඕන නෑ ඔහු සුගතියට යනව. හැබැයි, සුගතියට යන්න ආයෙ ඉල්ලන්ට කරන්ට යනව කියන්නෙ අපි නැවතත් තණ්හා සිතක් ඇති කරගන්නව.

මේ නිසා පොඩි දෙයක් අත්හැරල මහ ලොකු සැපයක් බලාපොරොත්තු වෙනව. අනික දිව්‍ය ලෝක කියල කියන්නෙ දුකට අයිති ලෝකෙට අයිති දෙයක්. සාපේක්ෂව සමහර වෙලාවට මනුෂ්‍ය ලෝකෙට වඩා දුක අඩු වෙන්න පුළුවන්. ඒත් ඒකත් අනිත්‍යයි. එතනත් දුක තියෙනව. ඒකත් අනාත්මයි. ඉතින්, ප්‍රාර්ථනා කරනව කියල කියන්නෙ දුකේ ඉඳගෙන දුකම ප්‍රාර්ථනා කරන-එක. ඒ නිසා ප්‍රාර්ථනා නොකළාට කමක් නැහැ. ඒකයි මම කිව්වෙ දන් දෙන්ට ඕන. බෞද්ධයො දන් දීලා ප්‍රාර්ථනා නොකළාට කමක් නැහැ. තමන්ගෙ දුක නැති කරගන්ටනෙ දෙන්නෙ? තණ්හාව නැති කරගන්ට. ආයෙ තව තණ්හාව වඩන්ට ඕන නෑ තව දෙයක් බලාපොරොත්තුවෙන්.

මම ඒකෙන් අදහස් කරන්නෙ නෑ පින් කරන්ට එපා, දන් දෙන්ට එපා කියල. දන් දෙන්ට ඕන. දෙන-එක හරියට දෙන්ට, නිවැරදිව දෙන්ට. ඒකයි, මම මේ පෙන්වා දෙන්ට උත්සාහ කරන්නෙ. එතකොට තමන්ව රවටගන්ට දාන දෙන්ට එපා.

දැන් අපි කෑම ටිකක් ගිහිල්ල දෙන්ට ඕන බඩගින්නෙ ඉන්න කෙනෙකුට. ඇඳුමක් දෙන්ට ඕන ඇඳුම් අවශ්‍ය කෙනෙකුට, ඇඳුම් නැති කෙනෙකුට, තිරිසන් සතෙකුට ඇඳුමක් දීලා වැඩක් නෑ. දුප්පත්, නැති–බැරි ළමයෙකුට පොතක් පෑනක් පැන්සලක් අරන් දෙන-එක, සපත්තු කුට්ටමක් අරන් දෙන-එක, ගවුමක් කමිසයක් කලිසමක් මහල දෙන-එක. ලෙඩෙකුට උපස්ථාන කරන-එක, මහල්ලෙකුට උපස්ථාන කරන-එක. ලෙඩෙකුට බෙහෙත් ටිකක් දෙන-එක. මෙන්න මේවා දාන. එතකොට දුකට පත් වෙච්ච කෙනෙක් ළඟට ගිහින් වචනෙකින් දෙකකින් පුළුවන් එයාගෙ දුක පොඩ්ඩක් සමනය කරන්න. “කලබල වෙන්ට එපා, බය වෙන්ට එපා. අපි ඉන්නවනෙ. අපි ඕන දේකට ඔයා ළඟ ඉන්නව. අපි පිහිට වෙනව” කියා. ඒ වාගේ වචන කීපෙකින් ඔහුගෙ දුක තුනී කරන්ට පුළුවන්; භය නැති කරන්ට පුළුවන්. ඒ කියන්නෙ අභය දානය. ඒ වගේ අපට දෙන්ට පුළුවන් බොහෝ දේවල් තියෙනව නැති-බැරි ළමයෙකුට පාඩමක් කියල දෙන්ට පුළුවන්. ටියුෂන් දෙනව නෙවෙයි. තමන් දන්න ශිල්පයක් ශාස්ත්‍රයක් උගන්වන්ට පුළුවන්. යම් යම් තැන්වලදී කාටහරි අවවාදයක් උපදේශයක් අවශ්‍ය තැනදී දෙන්න පුළුවන්. අපේ දරුවෙක්ද නැද්ද වැඩක් නෑ. අපිට පේනව නම් අපි ඒ දේ කියන්ට පුරුදු වෙන්ට ඕන.

නමුත් ඒ දේවල් නොකර අපි ගිහිල්ල අර මොකක් හරි ප්‍රතිමාවක් ඉදිරියෙ කෑම ටිකක් තියනව බුදු හාමුදුරුවෝ කියල. බුදු හාමුදුරුවො පරිනිබ්බානයට පත් වෙලා. කවුරුත් ඒක දන්නව. ඉතින් ඒක දැන-දැනම අපි ගිහිල්ල මොකද කරන්නෙ? අර ප්‍රතිමාව ඉදිරියෙ කෑම ටිකක් තියල “බුදුන් පිදුව” කියනව.

මේ කාවද රවටන්නෙ? බුදු හාමුදුරුවො රවටන්නද? බුදු හාමුදුරුවො රැවටෙයිද? කොහෙද බුදු හාමුදුරුවො ඉන්නෙ? ඔය පිළිමෙද? ඔය චෛත්‍යයෙද? බෝ ගස්වලද? ත්‍රිපිටකේද? නෑ. ඔය බඹයක් තරම් ශරීරය තුළ. දැන් තමාව රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනව. එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය, බුදුන් වහන්සේ තමා තුළ, තමාගේ හදවත් තුළම ජීවත් වෙනව. හැම පුද්ගලයෙක් තුළම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනව. ඒ රහතන් වහන්සේ මතු කරගැනීමයි අප කළ යුත්තේ. ඒකට කළ යුතු ක්‍රියා මාර්ගය චතුරාර්ය සත්‍ය දේශනාව තුළ තියෙන්නෙ.

අවුරුදු දෙදහස් පන්සිය ගණනකටත් වඩා පැරණි දහමක් මේක. ඉතින් ඒක විවිධ හේතු මත යම් යම් අය, විවිධ අය අතින් අත, කටින් කට ඇවිල්ල විවිධ දේවල් එකතු වෙලා විවිධ ආගම්වල ආභාසය ලබල, විවිධ ඇදහිලි, පුද-පූජා විධි, සිරිත්-විරිත් මේක තුළ තියෙනව.

මම මේ පෙන්වන්ට යන්නෙ මොකක්ද සැබෑ බෞද්ධකම කියන-එකයි. ඉතින්, අපි දන්නව හොඳටම: බුදුන් වහන්සේ එක් අවස්ථාවක ආරාම චාරිකාවෙ යද්දී එක තැනකදී අර කුෂ්ඨ රෝගයක් හැදිල වේදනාවෙන් හිටපු හාමුදුරුවන්ව දැකල (අර සිවුර හිටන් ඇඟට ඇලිල සැරවවලට) ආනන්ද හාමුදුරුවන් එක්ක එකතු වෙලා උන් වහන්සේව නාවල පිරිසිදු කරල සුවපත් කෙරෙව්ව එයාව ඒ අමාරුවෙන්. ඊට පස්සෙ දහම් දෙසුව. ඊට පස්සෙ බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කථා කරල කිව්ව: “ආනන්ද කවුරු හරි කෙනෙක් බුදු හාමුදුරුවො කිව්ව විදියට ගිලනුන්ට උපස්ථාන කළා නම් බුදුන්ට උපස්ථාන කළා වෙනව.” එතකොට බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෑම ටිකක් දුන්න ම බුදුහාමුදුරුවන්ට දුන්න වෙනව. එතකොට නැති-බැරි මිනිහෙකුට අසරණයෙකුට පිහිට වුණාම බුදු හාමුදුරුවන්ට පිහිට වුණා වෙනව. බුදු හාමුදුරුවො නිතර නිතර කිව්ව ආනන්ද හාමුදුරුවන්ට; අනෙකුත් භික්ෂූන්ටත් කිව්ව “මහණෙනි, කවුරු හරි කෙනෙක් මගේ ධර්මය පිළිපදිනව නම් මගේ අනුශාසනාව පිළිපදිනව නම් එයා තමයි මට පිදුව වෙන්නෙ” කියල.

එතකොට අපි දන් දෙන්ට ඕන. මේ පිළිම ගැන අහපු තැන ඉඳල කථා කරගෙන ගියේ අපි පිළිමයට කෑම තියල අපිව රවට්ටගන්නවට වැඩිය හොඳයි, කෑම ටිකක් ගිහින් දෙන්ට බඩගින්නෙ ඉන්න කෙනෙකුට. අන්න බුද්ධ වන්දනාව. බුදුන් පිදුව වෙනව. ඒකයි, කියන්ට ඕන ප්‍රධාන දේ.

ඊළඟට අපි යනව එකපාරටම නිවන් දකින්ට, ලොකු වැඩ කරන්ට. මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව බොහොම හොඳ දෙයක්. ඒක කළ යුතුයි. ඒක වෙනම කතන්දරයක්. ඒත් අපි කරන මෛත්‍රී භාවනාව මොකක්ද? ඒකත් පොඩ්ඩක් හිතල බලන්ට. දැන් මෙතෙන්ට, අපේ ඉදිරියට එනව අපි හිතමු ආහාර නැතිව බඩගින්නෙ ඉන්න කිසියම් අහිංසක අසරණයෙක්; ඇවිල්ල අපෙන් කෑම ටිකක් ඉල්ලනව. අපි එයාට කෑම ටිකක් දුන්නොත්... බඩගින්න කියන-එක මහ ලොකු දුකක් මනුෂ්‍යයෙකුට තියෙන, ඕනෑම සතෙකුට තියෙන. අපි ඒ පුද්ගලයාට හෝ සතාට ආහාර ටිකක් දුන්න නම් අර බඩගින්න කියන දුක නැති වෙලා යනව. ඒ දුක නිවෙනව. අපි ඒකට එච්චර උනන්දු වෙන්නෙ නෑ.

ඒත් එසේ නොකරන අපි, උදේ සවස සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! කියනව. වෙයිද ඕක කවදාවත්? අපි කිව්වට ඔය සියලු සත්ත්වයෝ නිදුක් වෙයිද? නීරෝගි වෙයිද? සුවපත් වෙයිද? එහෙනම් බුදු හාමුදුරුවොම ඕක කරයිනෙ ඒ කාලෙම. අපි ඔක්කොම සුවපත් කරන්ට තිබ්බනෙ, එදාම. එහෙම වෙන්නෙ නෑ. ඒත් අර බඩගින්නෙ ඉන්න කෙනාට කෑම ටිකක් දුන්නොත් ඒකෙන් ඔහු සුවපත් වෙනව. එතකොට මේ කියන මෛත්‍රියත් ඇත්තටම ආරම්භක වශයෙන් ප්‍රායෝගික ක්‍රියාවලියකුත් මේ දානය තුළම සිද්ධ වෙනව. ඒකයි අප නෙක්ඛම්ම සංකල්පනාත් එක්කම අනිවාර්යයෙන්ම අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පනාත් බිහි වෙනව කිව්වෙ. හොඳට මතක තියාගන්ට. දැන් මම මේ මෙච්චර ගොඩක් දේවල් කිව්වෙ, අපි ඉන්න මිථ්‍යාවෙන් ගොඩ ඇවිල්ල සැබෑ බෞද්ධයො වෙන්න ඕන නිසයි.

එතකොට අපි මින් ඉදිරියට සම්මා සංකප්ප කියන කොට දැනගන්නට ඕන, මතක තියාගන්ට ඕන, මොනවද සම්මා සංකප්ප කියල. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා දැන් පැහැදිලි ද ඒ ටික? දැන් ඒවයෙ මොනවත් ගැටලු තැන් තියෙනවද? පරස්පර විරෝධයක් තියෙනවද? දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්ට. අපි මේ දැන් අහන දේත් අපේ සමාජයේ අද පවතින දේත් අතර විශාල පරස්පර විරෝධයක් තියෙනව. ගැටුමක් ඇති කරගන්ටත් එපා. මම කිව්වට මේක පිළිගන්ටත් එපා. තම-තමාටත් මොළයක් බුද්ධියක් තියෙනවනෙ? පොඩ්ඩක් හිතල බලන්ට. බුදු හාමුදුරුවො කියන්නෙ මේ ලෝකෙ පහළ වෙච්ච විශිෂ්ට දාර්ශනිකයා, ප්‍රඥාවන්තයා.

එවැනි උත්තමයෙක් ඔය ආවට ගියාට තේරුමක් නැති, මේ අද අපිට දකින්ට තියෙන මිථ්‍යාවන් දේශනා කරයි කියල හිතන්ට බෑ. ඒකයි මම මේ කියන්ට ගියේ. අපි කරන-කියන දේ අවංකවම බුද්ධිමත්ව හිතා-මතා හරියට කරන්ට ඕන. කිසියම් ප්‍රතිපදාවක් තුළ ඉන්ට ඕන. නිකම් බොරුවට ‘බෞද්ධ’ කියන ලේබල්-එක ගහගෙන, කරන්නන් වාලෙ, අනික් අය දුවන්නන් වාලෙ දුවල නම් හරියන්නෙ නෑ. පැහැදිලියි නේද? මේක තමයි සම්මා දිට්ඨී. ඊළඟට සම්මා සංකප්ප. දැන් මෙන්න මේ කියපු කාමයන්ගෙන් වෙන් වෙන්ට ඕන කියල තීරණය කරගත්තු අව්‍යාපාද, අවිහිංසා දෙක කරුණා, මෛත්‍රී දෙක පෙරදැරි කරගත්ත ශ්‍රාවකයා, බුද්ධ ශ්‍රාවකයා තමයි, ඊළඟ පියවරට යන්නෙ.

මොකක්ද ඊළඟ පියවර? දැන් කියාපුව ප්‍රායෝගිකව පටන්ගන්ට. දැන් දානෙන් තමයි පටන්ගන්නෙ. එතනම තියෙනව අර සංකල්පනා. සම්මා සංකප්ප. එතකොට මේකෙන් තමා පටන් ගන්නෙ. බුදු හාමුදුරුවො හැම වෙලාවෙම දානය තමා මුලට ගත්තෙ. දැන් බලන්ට ඕනෑම එකක් අරන්. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අරන් බලන්ට. දාන, සීල, භාවනා. දස පාරමිතා අරන් බලන්ට. මුල්ම එක දානය. ඊළඟට දස රාජ ධර්ම අරන් බලන්ට. ඒත් මුලට තියෙන්නෙ දානය. සතර සංග්‍රහ වස්තු අරන් බලන්ට. ඒකෙත් මුලම තියෙන්නෙ දානය. එතරම්ම වටිනව, මේ දානය කියන-එක, දීම කියන-එක. හොඳට මතක තියාගන්ට: මේ දානය කිව්වම මේ කෑම ටිකක් කාට හරි දෙන-එක විතරක් නෙවෙයි. අපිට ඕනම දෙයක් දෙන්ට පුළුවන්. ප්‍රධාන වශයෙන් දාන දෙකක් තියෙනව. ආමිස දානය සහ ධර්ම දානය කියල. අපි පස්සෙ දවසක ධර්ම දානය ගැන මීට වඩා ගැඹුරින් කථා කරමු. දැනට මේ ටික ප්‍රමාණවත්. සියල්ල පටන්ගත්තෙ දානයෙන්. දානය කියන-එකේ පුළුල් අර්ථයක් තියෙනව.

අද බොහෝ දෙනෙක් මේ දානය අත්හැරල සීලයට යන්ට උත්සාහ කරනව. තවත් සමහරු සීලයත් අත්හැරල එක පාරටම භාවනාවට යන්ට හදනව. මෙතන තමයි ඒ අයට වැරදිච්ච තැන. මේකෙ අනුපිළිවෙළක් තියෙනව; අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනව. මේ ප්‍රතිපදාව තුළයි අපි ගමන් කළ යුත්තෙ. එහෙම නැත් නම් අපි නිකම්ම නිකම් වල්මත් වෙච්ච පිරිසක් බවට පත් වෙනව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන පුද්ගලයො, දුකෙන් මිදෙන්ට යන පුද්ගලයො පළමුවෙන්ම සම්මා දිට්ඨිය ඇති කරගන්ට ඕන. ඊළඟට සම්මා සංකප්ප තියෙන්ට ඕන. මෙන්න මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක තිබුණ කෙනා පමණයි ඊළඟ පියවර වශයෙන් ඊළඟ අංගවලට යන්නෙ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුන එකටම වගේ ක්‍රියාත්මක කරන්ට ඕන. මොනවද මේවා? මේ තුන තමයි අයිති වෙන්නෙ ශීලයට. එතකොට සීලය කියල කියන්නෙ මොකක්ද? සංවරය. මොකක්ද සංවර කරගන්ට ඕන අපි? කය සහ වචනය කියන දෙක. එතකොට අපි හැම වෙලාවකම මේ රටේ මේ ලෝකේ කාම භෝගී, කාම සංකල්පනා තියෙන අය ඉන්නෙ අසංවරව; කටයුතු කරන්නේ අසංවරව. කාමයන් සන්තර්පණය කරන්න යන කොට අනිවාර්යයෙන්ම අසංවර කටයුතු තමයි කරන්නෙ; කරන්න වෙන්නෙ. ඉතින් මේ අය අසංවරකම් කරනව කයෙන් සහ වචනයෙන්. අපේ කය අසංවර වෙලා තියෙනව කරුණු තුනකින්.

ඒ කියන්නෙ පර පණ නැසීම, ඊළඟට නුදුන් දේ ගැනීම, ඊළඟට පරදාර සේවනය කියන කරුණු තුනෙන්. නුදුන් දේ ගැනීම කිව්වම හොරකම විතරක් නෙවෙයි කොල්ලකෑම, දෙන්නම් කියල අරගෙන නොදී සිටීම, අල්ලස් ගැනීම, එතකොට නීති විරෝධී කොමිස් ගැනීම, රැකියාවට ගිහින් පැය අටක් වැඩ නොකර බොරුවට කාලෙ ගත කරල මාසෙ අන්තිමට පඩිය ගැනීම (මොකද: ඒක සේවා කොන්දේසි කඩ කිරීමක් නෙ. සේවකයා සහ සේව්‍යයා අතර ගිවිසුමක් තියෙනව: දවසකට මෙච්චර පැය ගණනක් මෙච්චර දවස් ගණනක් මාසෙට වැඩ කළාම මේ වැටුප දෙනව කියල ඇති කරගත්ත ගිවිසුම.

ඒ ගිවිසුම කඩ කිරීම තුළ තමන්ට හිමි නැති වැටුපක් ගන්නෙ). දැන් මේවා අපේ රටේ මුල් බැහැගෙන තියෙන දේවල් මේ සමාජය තුළ. සමහර වෙලාවට මේ රටේ ජනතාව මේවා අකුසල් බව නොදැන, මේවා බෞද්ධ ප්‍රතිපදාව නොවෙයි කියල නොදැන, මේවා බෞද්ධයන්ට සුදුසු නැති දේවල් කියල නොදැනයි මේ දේවල් කළේ. දැන් මම මේවා වැඩියෙන්ම අවධානයට ලක් කරල පෙන්වා දෙන්ට උත්සාහ කරන්නෙ මින් ඉදිරියට මේ අය නිවැරදි වෙයි කියල. දැන් හුඟක් අය අල්ලස් ගැනීම, කොමිස් ගැනීම, ඔය දවස ගත කරල බොරුවට කාලෙ කාලා වැටුප ගැනීම එහෙම හොරකම් කියල දන්නෙ නෑ. හැබැයි මතක තියාගන්ට, මේවා නොදැන කළත් දැනගෙන කළත් ප්‍රතිඵලය නම්, ආනිසංසය නම් වරදින්නෙ නෑ. එතකොට මේ අසංවරකම, නුදුන් දේ ගැනීම, ඊළඟට කාම මිථ්‍යාචාරය නැත් නම් පරදාර සේවනය යන මෙන්න මේ කරුණු තුන නිසා කය අසංවරය.

ඊළඟට වචනය අසංවර වෙලා තියෙනව කරුණු හතරක් නිසා. මොනවද ඒ කරුණු? බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. බොරු කියනව. යමක් කරල කළේ නැහැයි කියනව. නොකළ දෙයක් කළාය කියනව. ඒක බොරුව. ඊළඟට කේළාම් කියනව. කේළම මහා භයානක දෙයක් බොරුව වගේම. මේ සමාජේ ගිනි ගන්නෙම කේළමින්. එක්කෙනාට එක්කෙනා කේළාම් කියනව යම් යම් ලාභ සත්කාර බලාගෙන. ඒ හින්ද ඒකෙන් පුදුමාකාර විනාශයක් මේ රටේ සිද්ධ වෙනව. මේක මහා අසංවරකමක්; මහා පාපයක්; අකුසලයක්. ඊළඟට පරුෂ වචනය. අන් අයගෙ සිතේ නිසංසල බව, සන්සුන් බව නැති කරන්ට කරන සැම කටයුත්තක්ම පරුෂ වචනය. සාමාන්‍යයෙන් මිනිස්සු කියන අසභ්‍ය වචනත් ඇතුළුව ඊට අමතරවත් අසභ්‍ය නොවන විධියටත් පරුෂ වචන කියන්ට පුළුවන්. බොහොම සුන්දර වචන පාවිච්චි කරල පරුෂ වචන කියන්ට පුළුවන්. ඔය කර්යාලවල එහෙම ඕන තරම් වෙනව ඉඟියෙන් හැසිරීමෙන් පවා. නේද? කථා කරන වචනයකින් පවා දෙපැත්ත කැපෙන තේරුම් දෙකක් තියෙන වචන පාවිච්චි කරනව. මේ ඔක්කොම වැටෙන්නෙ පරුෂ වචනවලට. ඊළඟට අපි කරන අනිත් අසංවරකම තමයි ඕපාදූප. වැඩි හරියක් කථා කරන්නෙ ඕපාදූප. විශාල වශයෙන් කාලය කාදමනව. විශාල හානියක් සමාජයට කරගන්නව.

එතනදි මෙන්න මේ හතර තමා වචනයෙන් වන අකුසල්, එතකොට දැන් බුදුන් වහන්සේ සම්මා වාචා කියල කිව්වෙ මොකක්ද? මෙන්න මේ කියපු වචනයෙන් වන අකුසල් හතරෙන් වැළකීම තමයි සම්මා වාචා. මම ඇහුවෙ නෑ මේ අයගෙන් මොකක්ද සම්මා වාචා කියලා. ලැබෙන්ට තියෙන පිළිතුර මම දන්නව. නිවැරදි වචනය කියයි. ඒක හරි යන්නෙ නෑ. නිවැරදි වචනය වෙන්නෙ කොහොමද? අර කියන වචනයෙන් කරන අකුසල් හතරෙන් වැළකුණා නම් ඔහුගෙ වචනය සංවරයි. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කියන ඔය කියන හතරෙන් වැළකුණා නම් ඒ හතරින් තොර වුණා නම් ඉතිරි කථා කරන සියලු වචන සම්මා වාචා. ඒවා සියල්ල නිවැරදි වචන. හැබැයි මේවා සියල්ලෙන් වැළකුණාට පස්සෙ කථා කරන්ට දේවල් නැතිව යනව. අපි පුළුවන් තරම් අවශ්‍ය දේ පමණයි කථා කරන්ට ඕන. මේ බෞද්ධයයි කියන කෙනා නිකම් ආවාට-ගියාට වචන පාවිච්චි කරන්නෙ නෑ. කථා කරනව නම් ධාර්මික වචනයක්, හොඳ වචනයක්, ශීලාචාර වචනයක්. එහෙම නැත් නම් මොකද කරන්නෙ? කථා කරන්ට දෙයක් නැත් නම් මොකද කරන්නෙ? නිහඬව ඉන්නව. නිකම්ම නිහඬව නොවෙයි. බුදු හාමුදුරුවන්ගෙ දේශනාවෙ වචනයක් පාවිච්චි කරනව ‘ආර්ය තූෂ්ණීම්භාවය’ කියල. දැන් නිහඬව ඉන්නවනෙ තිරිසන් සත්තුත්. ගොළුවොත් නිහඬයි. කථා කරන්ට බැරි හින්ද. ඒක බුදු හාමුදුරුවො කියපු නිහඬතාවද? ආර්ය තූෂ්ණීම්භාවයද? නෑ. ආර්ය තූෂ්ණීම්භාවය කියල කියන්නෙ සිහියෙන්, අවදියෙන් ඉන්නව, වැරදි වචන පාවිච්චි නොකර. එතකොට කථා කරනව නම් හොඳ වචනයක්. නැත් නම් ආර්ය තූෂ්ණීම්භාවයෙන් ඉන්නෙ. නිකම්ම නිහඬ භාවයෙන් නොවෙයි. බුදුවරු, රහතන් වහන්සේලා නිහඬව ඉන්නෙ නිකම්ම නොවෙයි. ඒ ගොල්ලන්ගෙ ගුණයහපත්කම. සිහියෙන් ඉන්නෙ. එළඹ සිටි සිහියෙ, වර්තමානයෙ. හරි, එතකොට මෙන්න මේ විදියට ඒ අකුසල් හතරෙන්, වචනයෙන් කරන අකුසල් හතරෙන් වැළකුණා නම් අන්න ඒක සම්මා වාචා.

සම්මා කම්මන්ත කියල කිව්වෙ. මම අර ඉස්සෙල්ල කියපු කය පාවිච්චි කරල, ශරීරය පාවිච්චි කරල කරන අකුසල කර්ම තුන ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාම මිථ්‍යාචාරය. ඔය තුනෙන් වැළකුණා නම් කය සංවරයි.

ඊළඟට අපි තව එක අකුසලයක් කරනව. බුදු රජාණන් වහන්සේ ඒක අපට කරන්ට එපා කියල කිව්ව, ඒක මොකක්ද? මිථ්‍යා ආජීවය. සම්මා ආජීව කියල කියන්නෙ මිථ්‍යා ආජීවයෙන් වැළකීම. එතකොට මිථ්‍යා ආජීවය කියල කීවෙ මොකක්ද? සරලව ගත්තොත් කියන්ට තියෙන්නෙ මිනිස්සු ජීවත් වීම සඳහා සටකපටකම් කපටිකම් කරනව. අන්න ඒවායින් වළකින්න ඕන. බොහොම ධාර්මිකව කපටිකමින් තොරව, අවංක ඍජු ජීවන ප්‍රතිපදාවක් ගෙනියන්ට ඕන. අන්න එතකොට ඒ පුද්ගලයා තමයි සිල්වතා කියන්නෙ. පැහැදිලිද? දැන් මෙතන පටලවගන්ට එපා. අපිට අහන්ට ලැබෙනව බෞද්ධයො නම් පන්සිල් රකින්ට ඕන. පන්සිල් රකින්නෙ කොහොමද? කථා දෙකක් නෑ. ලොකු දෙයක්. ලොකු සීලයක් බැරි නම් ඒක හරි රකින-එක ලොකු දෙයක්, කතාව ඇත්ත. එහෙත් බුදුවරු පහළ වෙන්නෙ පන්සිල් ගැන කියන්ට නම් නෙවෙයි. බුදුන් වහන්සේගෙ ධර්මය අබිබවා යන්ට අපට පුළුවන්කමක් නෑ. පඤ්ච සීලය කියන-එක බුදුවරු නැති කාලවලත් ලෝකෙ තිබුණා. ඊට වඩා ලොකු සිලුත් තිබුණා. සිද්ධාර්ථ කුමාරයා මව් කුසේ පිළිසිඳගන්න කොට මහාමායා දේවිය උපෝසථ සීලය සමාදන් වෙලා හිටිය කියල අපි අහල තියෙනව. මහාමායා දේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටියෙ. එතකොට තමයි සිද්ධාර්ථ කුමාරයා මව්කුස පිළිසිඳගත්තෙ කියල කියනව. පෙහෙවස් සමාදන් වෙනව කියල කියන්නෙ, උපෝසථ සීලය කියල කියන්නෙ පඤ්ච සීලයට වඩා ඉහළ සීලයක්. ඉතින් එවැනි සිලුත් තිබුණ සමාජයක තමයි බුදුවරු පහළ වෙන්නෙ.

එතකොට සීලයෙන් තොර සමාධියක් නැහැ. සිද්ධාර්ථ කුමාරයා රජගෙයින් නික්මිලා පිට වෙලා ගියේ ධර්මය හොයාගෙන, ඔය ආලාරකාලාම, උද්දකාරාම වැනි තවුසන් ළඟට. ඒ තවුසන් පොඩි පහේ අය නොවෙයි. නේවසඤ්ඤානාසඤ්ඤා වැනි අෂ්ට සමාපත්ති, ඉහළම ධ්‍යාන දක්වා සිත දියුණු කරපු අය. ඉතින් එවැනි ධ්‍යාන ලබන්ට නිකම් බෑ. ඉහළ සීලයක්, කය, වචන දෙක සංවර කරගැනීමක් තියෙන්ට ඕන. එහෙම නම් බුදුවරු පහළ වෙන කොට මේ සිල් තිබුණා. පඤ්ච සීලය හැමදාම ලෝකෙ තිබුණා. අනෙකුත් ආගම්වලත් මේවා තියෙනවා. ඒක නිසා කවුරු හරි කියනව නම් පන්සිල් දේශනා කරන්ට බුදුහාමුදුරුවො පහළ වුණේ කියල - ඒක අර්ථශූන්‍ය කථාවක්.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2014 දෙසැම්බර්



අමතන්න

නව තොරතුරු ලබාගැනීම සඳහා අපගේ විද්යුත් ලැයිස්තුව සඳහා ලියාපදිංචි වන්න.



මෙම වෙබ් අධවිය පිළිබඳව ඔබගේ මිතුරන් දැනුවත් කරන්න



අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන්ගේ විස්තර ඇතුලත් අනෙකුත් වෙබ් අධවි :

    


 
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ ගෙෳතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුදු දහම සොයන පිරිසක් විසිනි.

අපගේ අරමුණ කිසිවකුට පහර ගැසීම හෝ අවමන් කිරීම නොව, සංස්කෘතික හා සම්ප්‍රදායක හේතූන් මත වැලලී ගිය නිර්මල බුදු දහම ඉස්මතු කිරීමේ උත්සාහයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!