2015 ජනවාරි මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

සම්මා ආජීවය ගැන නිවැරදි අර්ථකථනයක් සැපයීමට ගත් ප්‍රයත්නයකි. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළක පස් වැන්නයි.

අපි දස අකුසල් තියෙනව කියල අහල තියෙනව. කයෙන් කරන අකුසල්: තුනක් ඔය ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය. වචනයෙන් කරන අකුසල් බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කරුණු හතරයි. ඊට පස්සෙ සිතින් කරන තව අකුසල් තුනක් තියෙනව: දැඩි ලෝභය, ද්වේෂය සහ මිථ්‍යා දෘෂ්ටිය. ඔය දහය තමයි දස අකුසල් කියල කිව්වෙ.

දැන් ඔය දහය තුළ සුරාපානය එහෙම නෑ. එතකොට අපි දැන් කිව්වෙ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තැනත් සුරාපානය ඇතුළත් වෙලා නෑ. දැන් එතකොට පඤ්ච සීලය අරගෙන බැලුවොත් කයෙන් කරන අකුසල් තුන එතන තියෙනව. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය. වචනයෙන් කරන අකුසල් හතරෙන් තියෙන්නෙ මොකක්ද? බොරු කීම විතරයි. එතකොට කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම හොඳයි කියලද ඒ කියන්නෙ? ඒ තුන අයින් කරල, ඒ වෙනුවට කොහෙන්ද ගෙනල්ල රිංගවල තියෙනව සුරාපානය. මේකෙන් අදහස් වෙන්නේ මම මේක නරකයි කියනව හෙම නෙවෙයි. මේකෙන් අදහස් වෙන්නෙ බුදුවරු පහළ වෙන්නෙ මෙන්න මේ වගෙ අවුල් ජාලයක් තියෙන සමාජයක් පවතින කාලෙක. සත්‍ය දන්නෙ නෑ. සීලය මොකක්ද කියල හරියට දන්නෙ නෑ. සමාධිය දන්නෙ නෑ. ප්‍රඥාව දන්නෙ නෑ. අවුල් ජාලයක පැටලිලා. මේ ලෝකය තුළ අතරමං වෙලා ඉන්න යුගයක තමයි බුදුවරු පහළ වෙන්නෙ. බුදුවරු කරන්නෙ මොකක්ද? ඒක නිවැරදි කරන-එක.

පඤ්ච සීලය නෙවෙයි ඊට එහා සීලයක් මේකෙ තියෙනව. මොකද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තැන සිල්පද, ශික්ෂාපද අටක් තියෙනවා. ඕකට තව ඕන නම් සුරාපානය දාල නවයක් කරන්ට තිබ්බ. නවයක් කළේ නැත්තෙ ඇයි? හේතුවක් තියෙනව. මම මේකෙන් කියන්ට යන්නෙ සුරාපානය සාධාරණීකරණය කරන-එක නෙවෙයි. සුරාපානය ඊට වඩා වෙනස් දෙයක්. දැන් සිගාල ගෘහපති පුත්‍රයාට දේශනා කරපු දේශනාවෙ බුදුහාමුදුරුවො ඒ තරුණයට මොකක් ද කීවේ? සතර කර්ම ක්ලේශ කියල ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, පරුෂ වනයෙන් වැළකෙන්ට කීව. එහෙත් එතෙන්දිත් සුරාපානය ගත්තෙ නෑ. මේ වෙනකොට සමාජයේ තිබුණ පහම. ඒත් ඒකෙන් සුරාපානය ඉවත් කළා.

බුදුහාමුදුරුවො සුරාපානය ගත්තෙ වෙනත් තැනකට. තව කරුණු හයක් කිව්වා. ඒවා ධන හානි වන දොරටු වශයෙන් සුරාපානය, සූදුව, අලසකම, අවේලාවේ වීථි සංචාරය, නැටුම් ගැයුම් බැලීම සහ පාපමිත්‍ර සේවනය කියන මෙන්න මේ හය ගත්ත. එතකොට ඒකටත් හේතුවක් තියෙනව. සුරාපානයෙ අනිවාර්ය ආදීනව හයක් බුදුහාමුදුරුවො සිගාලෝවාද සූත්‍රයේ දේශනා කළා.

සුරාපානය කරන කෙනෙක්ගෙන් වන වැරදි මොනවද? සිදු වන පළමුවැනි වරද තමයි: අනිවාර්යයෙන්ම ධනය හානි වෙනව. දෙක: ඔහුට නඩුහබ කලකෝලාහල ඇති වෙනවා. තුන: රෝගි වෙනව. හතර: ඔහුට අකුසල් කිරීම

සඳහා තියෙන ලජ්ජා-බය දෙක නැති වෙනව. ඊට අමතරව පස්වැනි-එක: ඔවුන් කෙරෙහි සමාජයේ තියෙන පිළිගැනීම නැතිව යනව; නරක පුද්ගලයෙක් හැටියට හංවඩු ගැහෙනව. හයවැනි කාරණය: සුරාපානය කරන කෙනා අනිවාර්යයෙන්ම ප්‍රමාදී පුද්ගලයෙක්. මොකද: සුරාපානය ප්‍රමාදයට හේතු වෙනව. මෙන්න මේ කරුණු හය තමයි ආදීනව වශයෙන් බුදුහාමුදුරුවො දේශනා කළේ. ඒ හින්ද එතන කොයි වෙලාවක වත් කිව්වෙ නෑ සුරාපානය කරන කෙනා නිරයට එහෙම යනව කියල. ඒක හින්ද වැඩිවැඩියෙන් අරක්කු බොන්ට ලෑස්ති වෙන්ට එහෙම එපා. ඇයි: නිරයට යන්නෙ නෑයි කියල. මොකද: අරක්කු බොන මිනිහට අර කියපු අපායට යන ඒවා එකක් නෙවෙයි, ඔක්කොම වුණත් කරන්ට පුළුවන්. තියෙන සිහියත් නැති වුණාට පස්සෙ අවසිහියෙන් කරන්ට බැරි දෙයක් නැහැනෙ? ඕන අපරාධයක් කරන්ට පුළුවන් මත්වතුර බිව්වට පස්සෙ.

එතකොට අපි සීලය කියල කියන්නෙ, කය, වචන දෙක සංවර කරගැනීම. කයින් වෙන අකුසල් තුනයි. වචනයෙන් වෙන අකුසල් හතරයි. මිථ්‍යා ආජීවයෙන් වැළකීමයි කියන ඔය අංග අටෙන්ම රැකෙන කෙනා, ඉන් වැළකීම ක්‍රියාත්මක කරන කෙනා තමයි බෞද්ධයා කියල කියන්නෙ.

දැන් “මිථ්‍යා ආජීව කිව්වහම නොයෙකුත් පුද-පූජා සහ විශ්වාස ඇදහිලිත් ඒකට වැටෙනවද?” කියන ගැටලුව පැනනැගෙනවා.

නෑ. එතෙන්දි මේකට මිථ්‍යා ඇදහිලි ඇතුළත් වෙන්නෙ නෑ. මෙතැන දැන් ගස්-ගල් වැන්ද කියල වෙන පාඩුවක් නෑ. ඉතින් ලැබෙන දේකුත් නෑ. කැමැති නම් කරන්ට පුළුවනි. එහෙත් ඒක නොවෙයි මෙතන තියෙන්නෙ. දැන් හුඟාක් මිනිස්සු ජීවත් වෙන්ට නොයෙකුත් කපටිකම් කරනව නේද? අපි අහල තියෙනව නොකළ යුතු කර්මාන්ත එහෙම ගැන. මත් ද්‍රව්‍ය වෙළෙඳාම, මස් වෙළෙඳම, සතුන් වෙළෙඳාම වාගේ දේවල්. විෂ ද්‍රව්‍ය විකිණීම, කාන්තාවන් විකිණීම, ගිනි අවි අලෙවිය කියල එහෙම කියනව.

කොහොම නමුත් වඩාත් සරලව ගත්තොත් හෙම සච්ච විභංග සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය හෙම පැහැදිලිවම කියන්නෙ මිථ්‍යා ආජීවයෙන් වැළකීම සම්මා ආජීව කියල. අපට ගන්ට වෙන්නෙ ජීවත් වීම සඳහා මිනිස්සු කරන ඔය ‘සම්‍යක් ප්‍රයෝග’ කියල එහෙම පාවිච්චි කරනව. සම්‍යක්ද නැද්ද කියල මම දන්නෙ නෑ. ප්‍රයෝග: ඒ කියන්නෙ කපටිකම්, සියලු කපටිකම්, ජීවත් වීම සඳහා කරන දේවල්. තමන්ගෙ වාසියට කටයුතු කරනව. ඉතින් මම හිතන්නෙ මේක තමයි බුදුන් වහන්සේ අදහස් කළේ මිථ්‍යා ආජීව කියල. ජීවත් වීම සඳහා කරන සියලු කපටිකම්. මොකද: ඒ තුළ තව කෙනකුට හානියක් වෙනව නේ? එතකොට ඒක හොඳ දෙයක් වෙන්න බෑ.

දැන් හුඟාක් කෑගහන්නෙ අපේ සමාජය අශීලාචාරයි කියල, පන්සිල් රකින්නෙ නෑ සිල්වත් වෙන්නෙ නැහැයි කියල. ඇයි මේ මිනිස්සු සිල්වත් නැත්තෙ? අපට දැන් උත්තර ටික තියෙනව ලස්සනට. කණ්ණාඩිය වගේ ගන්ට පුළුවන් ආපස්සට. අපි ඉතිරි අග ටික ආපස්සට ගියා නම්. සීලය. සිල්වත් වෙන්ට නම් අපට මොනවද ඉස්සෙල්ලම තියෙන්ට ඕන? සීලයට යන්ට ඉස්සෙල්ල අපට තියෙන්ට ඕන අනිවාර්යයෙන්ම සම්මා සංකප්ප.

සම්මා සංකප්ප කියල කිව්වෙ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, මේ කියන සංකප්ප ඇති කරගත්තු කෙනෙක් විතරයි සීලයට යන්නෙ. එතකොට මේ සංකල්පනා නිකම් ඇති වෙන්න බෑ නෙ? දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන අංග හතරෙන් යුක්ත චතුරාර්ය සත්‍ය අවබෝධය - දැනුම නැති නිසා සම්මා දිට්ඨිය නැති හින්ද සම්මා සංකප්ප නෑ. මේ සම්මා සංකප්ප නැති තැන තියෙයිද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලය?

සීලය නෑ. ඒක තමයි, මම මේ මෙච්චර ගොඩක් වීරිය කරන්නෙ හැම වෙලාවෙම. මොකද මේ මිනිස්සු සිල්වත් නැත්තෙ? ඕන කරන මූලික පදනම නැහැ. මොකක්ද බෞද්ධයාගෙ, බුද්ධ ශ්‍රාවකයාගෙ පදනම? ගමන ආරම්භ වෙනනෙ කොතැනින්ද? මාර්ගය පෙරටු කොට ගමන් කරන්නෙ කවුද? මුල්ම මොකක්ද? සම්මා දිට්ඨිය. මේ රටේ මිනිස්සුන්ට සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය තියෙන්ටම ඕන. එතකොට සම්මා දිට්ඨිය නැත්තෙ ඇයි? සම්මා දිට්ඨිය ඇති වෙන්ට මොනවද ඕන සාධක? කොහොමද සම්මා දිට්ඨිය ඇතිවෙන්නෙ? සම්මා දිට්ඨිය ඇති වෙන්ට නම් සද්ධර්මය ශ්‍රවණය කරන්ට ඕන. ඉතින් සද්ධර්ම ශ්‍රවණය නෑ. ඇයි සද්ධර්මය ශ්‍රවණය කරන්නෙ නැත්තෙ? සද්ධර්මය ශ්‍රවණය කරන්ට දේශනා කරන්ට එපායැ? දේශනාව නෑ. සද්ධර්මය නොවෙයිනෙ දේශනා කරන්නෙ. අද අපි බලන් හිටියොත් හුඟක් අපට අහන්ට ලැබෙන්නෙ සද්ධර්මයද? සද්ධර්මය කිය-කියා මොනවද අද දේශනා වෙන්නෙ? අසද්ධර්මයම නෙ දේශනා වෙන්නෙ. සමහර අයට රිදෙයි මෙහෙම කියනකොට. මට කරන්ට දෙයක් නෑ. මේ අපේ අත්දැකීම්. කරන්ට දෙයක් නෑ.

ගොඩාක්ම අපි පුංචි කාලෙ ධර්ම පොතපත කියෙව්ව; ඉගෙනගත්තා; දහම් ඇහුව. නිරවුල්ව අපට මේක ලැබුණ නම්, අපි කියන්නෙ නෑ නෙ සම්මා දිට්ඨිය කියන්නෙ නිවැරදි දැකීම කියල? දේශනාව තුළ පැහැදිලියි. මේවා සඳහන් වෙනව සූත්‍ර පිටකයෙ. එතකොට අපට සද්ධර්මය අහන්ට ලැබුණෙ නැති හින්ද අපට සම්මා දිට්ඨිය නෑ. සද්ධර්මය අහන්ට ලැබුණත් අපට සම්මා දිට්ඨිය පහළ වෙන්නෙ නෑ. මොකද: සද්ධර්ම ශ්‍රවණය විතරක් නොවෙයි සම්මා දිට්ඨිය ඇති වීමේ ප්‍රධාන සාධකය වෙන්නෙ. තවත් සාධක තියෙනව. සම්මා දිට්ඨිය ඇති වෙන්ට ඕන කරන සාධක දෙකක් තියෙනවා. එකක්: සද්ධර්ම ශ්‍රවණය. අනිත් එක මොකක්ද? නුවණින් මෙනෙහි කිරීම: යෝනිසෝ මනසිකාරය. නුවණින් කල්පනා කරන්ට ඕන.

මෙහෙම එකක් ඇහුවටම බෑ. මේ චතුරාර්ය සත්‍යය ඇහුව පළියට සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ නෑ. ඔහු ඒක හොඳට සවන් දීල නුවණින් කල්පනා කරන්ට ඕන: මේ කියන්නෙ ඇත්ත නේද? මේකෙන් තමයි නේද අපි මිදෙන්ට ඕන. මේක නේද දුක? මේ අපට වැරදිලා නේද? වැරදි ගමනක් නේද ගියේ? මිථ්‍යාවක නේද හිටියෙ? කියල ඒ සංකල්පය ඇති කරගෙන, ඒ සත්‍යය අවබෝධ කරගෙන, නුවණින් කල්පනා කරල අන්න ඒ සම්මා දිට්ඨිය ඇති කරගත් කෙනා තමයි සම්මා සංකප්පවලට යන්නෙ. ඉතින් ඒක නිසා මතක තියාගන්ට ඕන මේ රටේ හැමෝටම සම්මා දිට්ඨිය නෑ. සද්ධර්මය අහපු නැති-එක වෙනම කතන්දරයක්. සද්ධර්මය ඇහුව වුණත් හැම දෙනාට සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ නෑ. මොකද ඒ? සම්මා දිට්ඨිය ඇති වෙන්ට ඕන කරන අනිකුත් සාධක තමා ළඟ තියෙන්ට ඕන. සද්ධර්ම ශ්‍රවණය වගේම ඇති වෙන්ට ඕන. තමා තුළ තියෙන්ට ඕන නුවණින් කලපනා කරල බැලීම. අන්න ඒ නිසා තමයි බුදු හාමුදුරුවො දේශනා කළේ මේ ධර්මය ඥානවන්තයින්ටයි කියල.

ආරම්භක වශයෙන්ම හැමෝටම සද්ධර්මය අහල සම්මා දිට්ඨිය පහළ වෙන්නෙ නැහැ. බුදු හාමුදුරුවො ඉන්න කාලෙ හැමතැනම දහම් දෙසව කියල හැමෝම බෞද්ධයො වුණෙත් නෑ. හැමෝම නිවන් දැක්කෙත් නෑ. හැම කෙනෙක්ම සැබෑ මඟට, දහම් මඟට පිළිපන්නෙත් නෑ. ඒක හින්ද බුදු හාමුදුරුවො හැමෝටම බණ කියන්ටත් ගියේ නෑ. බුදුන් වහන්සේ උදේම නැගිටලා බලනව, මහා කරුණා සමාපත්තියට සම වැදිලා, මම අද කාටද දහම් දෙසන්නෙ කියල. ඒ ඇයි? මේ දහම තේරුම්ගන්ට තරමට යම්කිසි නුවණක් තියෙන්ට ඕන. අන්න ඒ නුවණැත්තන්ටයි මේ දහම. ඒක නිසා ඒ නුවණ තියෙන කෙනා සොයාගෙන ගිහින් දහම් දෙසුව. අන්න එයාට විතරයි සම්මා දිට්ඨිය පහළ කරගන්ට පුළුවන් වෙන්නේ, සදහම් දෙසුවාම, ධර්මය දෙසුවාම.

එතකොට දැන් මතක තියාගන්ට මේ රටේ සියයට හැත්තෑවක් බෞද්ධයො කිව්වට, මේ රටේ බෞද්ධයො නෙවෙයි ඉන්නෙ. බෞද්ධයො හිටිය නම් මේ විනාශයන් වෙන්ට බෑ. මට දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සර දානෙ ඔතාගෙන ආපු පත්තර කෑල්ලක් කියවන්ට ලැබුණා. මට පත්තර කියවන්ට ලැබෙන්නෙ නෑ කැලේ ඉන්න නිසා. ඒක නිකම් දැකල කියවාගෙන යනකොට අර දැක්කට කියවපුවහම මට දැකගන්ට ලැබුණ මේ රටේ සංඛ්‍යා ලේඛන වගයක් ඒ පත්තර පිටුවේ. දිනකට: ඔය කියන්නෙ උතුරු නැගෙනහිර යුද්ධයක් තියෙන-එක හැර, අනෙකුත් පළාත්වල සිදු වන අපරාධ ගැනයි සඳහන් වුණේ. ඒකෙ තියෙනව පැය හයකට වරක් මිනීමැරුමක් කෙරෙනව: මනුෂ්‍ය ඝාතනයක්. ඒ කියන්නෙ දවසකට හතරක් අනිවාර්යයෙන්ම, එතකොට පැය හයකට සැරයක් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙනවා. සමහර විට ඔක්කොම වාර්තා වෙන්නෙ නෑ. ඒකෙ කියනව: පැය හයකට සැරයක් මහා මංකොල්ලයක් සිද්ධ වෙනව. ඊළඟට කියනව: සෑම විනාඩි තිස්පහකට වරක් ලංකාවේ කොතැනක හෝ අපරාධයක් සිද්ධ වෙනව. මේ උතුරු නැගෙනහිර හැර. ඉතින් මේ අපරාධ සිද්ධ වෙයිද මේ රටේ ඉන්න සියයට හැත්තෑවක් බෞද්ධ නම්? මේ යුද්ධයක් තියෙයිද උතුරේ? ඒවත් අපි කථා කරන්ට ඕන.

මේ සද්ධර්මයෙන් පිට පැනීමේ සාධක. අපි පැරණි ශ්‍රී විභූතිය ගැන, අපේ බෞද්ධ සමාජය ගැන සංස්කෘතිය ගැන කතා කරනව. එදා මේවා නොතිබෙන්ට හේතුවත්, අද මේවා තියෙන්ට හේතුවත් ඇයි? හේතු තියෙනව. මෙන්න මේක තමයි සාධකය. බෞද්ධ නම් සීලය තියෙන්ට ඕන. සිල්වත් නෑ. සිල්වත් වෙන්ට සම්මා සංකප්ප කියන ඒ සංකල්පනා තියෙන්ට ඕන. ඒ සංකල්පනා ඇති වෙන්ට නම් සම්මා දිට්ඨිය තියෙන්ට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන්ට නම් සද්ධර්මය ශ්‍රවණය කරන්ට ඕනෑ; යෝනිසෝ මනසිකාරය තියෙන්ට ඕන. ඉතින් මේ සාධක නැති නිසා සම්මා දිට්ඨිය නෑ. සද්ධර්ම ශ්‍රවණය නැති නිසා, නුවණින් මෙනෙහි කිරීම නැති නිසා සම්මා දිට්ඨිය නෑ. ඒ නිසා සම්මා සංකප්ප නෑ. ඒ නිසා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලය නෑ. ඉතින් මේක රටේ ඔක්කෝටම දෙන්ටත් බෑ. අපි නිකං අඬල හරියන්නෙ නෑ. ‘මේ රටේ අනේ හරි අසාධාරණයි’ කිය-කියා. අනික් අය සිල්වත් කරන්ට වීරිය කරන්ටත් එපා කවුරුවත්. ඒකත් මතක තියාගන්ට: මම මේ දහම දෙසන්නෙ අනුන්ව නිවැරදි කරන්ට නෙවෙයි; තමන් නිවැරදි වෙන්ට. මේ අහගෙන ඉන්න අයට මම කියන්නෙ මොකක්ද? අනුන්ට ඇඟිල්ල දික් කරන්ට යන්ට එපා. තමා දෙස බලන්ට. මේ කථා කරන සෑම දෙයක්ම කියන කොට තමා දෙස බලන්ට පුරුදු වෙන්ට. මගේ තුළ මේව තියෙනවද? බලන්ට. නැත් නම් තමා හැදෙන්ට. පැහැදිලිද කියපු දේ?

දැන් මගෙන් හුඟක් බණ අහන අය කියන දෙයක් තමයි ‘අනේ හාමුදුරුවනේ, අපි ඕව කිව්වට කවුද අහන්නෙ? මේ රට සිල්වත් වෙයිද? කියල අහනව. මම මේ මෙච්චර මැෂිමක් වගේ කියාගෙන කියාගෙන යන්නෙ මේ ලෝකෙම සිල්වත් කරන්ට නෙවෙයි. මේ අහගෙන ඉන්න අය සිල්වත් වෙන්ට. මේ ලංකාවෙ ඉන්න එක්කෝටි අනූපන් ලක්ෂයම දුස්සීල වුණාට කමක් නෑ. තමන් ඔය අධිෂ්ඨානය ඇති කරගෙන සිල්වත් වුණොත්, මේ රටෙන් එක් කෙනෙක් සිල්වත් නේ? ඒක හිතා ගන්ට. අනික: අනික් අයගෙ සීලය අපට බලපාන්නෙ නෑ නෙ? අපිට බලපාන්නෙ අපේ සීලය. අපිට වැදගත් අපේ සමාධිය, අපේ ප්‍රඥාව. අනුන්ගෙ සීලය වත් අනුන්ගේ සමාධිය වත් අනුන්ගෙ ප්‍රඥාව වත් අපිට වැඩක් වෙන්නෙ නෑ. තමන් කරගන්න දේයි තමන්ට තියෙන්නෙ. ඒක නිසා ඒක මතක තියාගෙන තමන් සිල්වත් වෙන්ට. තමන් සම්මා දිට්ඨිය ඇති කරගන්ට. ඔය කියන අංග ටික ඇති කරගෙන සැබෑ බෞද්ධයන් වෙන්ට වීරිය කරන්ට. පැහැදිලිද කියපු දේ? දැන් අපි මේකෙන් පිට පැනල තමයි හැමදේම කරන්ට යන්නෙ. අපේ ළඟ මොකුත් නැතිව අපි ලෝකෙට කියන්ට යනව. ඔක්කොටම අනුන්ට කියනව. බණ දෙසන්ට නම් හරි දක්ෂයි මේ රටේ මිනිස්සු; පිළිපදින්ට බෑ. ඒකයි මේ ඔක්කෝටම මුල. දැන් තේරෙනවද කියපු දේ?

ඔය ටික කරගත්ත කෙනා තමයි ඊළඟ පියවර වශයෙන් සමාධි ස්කන්ධයට යන්නෙ. සමාධි කියන කොටසට, සම්මා පැහැදිලිද දැන් එතකොට? එතනත් බුදු හාමුදුරුවො දේශනා කළා ඉතා පැහැදිලිවම මොනවද මේව කියල. සීලයෙ පිහිටිය, සීලය පිහිටපු කෙනා තමයි සමාධියට යන්නෙ. සීලයෙන් තොර සමාධියක් නෑ. මේ සීලය අත්‍යවශ්‍යයි. මෙන්න මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සිල් රකින්නෙ නැති කෙනා බෞද්ධයෙක් නෙවෙයි. කරුණා කරල බෞද්ධ ලේබල්-එක පැත්තකට දාන්න: අපිට රකින්ට බෑ මේක, අපි බෞද්ධයො නෙවෙයි කියන්ට ප්‍රශ්නයක් නෑ. ඒක තමා තමාටම අවංක වීමක් නෙ. අඩු ගානෙ තමා තමන්ටම අවංක වෙන්ට, අවංක බෞද්ධයෙක් නම් ඒක කරන්ට. නැති නම් නොකර ඉන්ට. මේකෙ නීතියක් නැහැ නෙ? එහෙම වෙන්ට කියල මේ රටේ ඔක්කෝටම බෞද්ධ වෙන්ට කියල කියලත් නෑ නෙ? කවුරුවත් මේව රකින්ට කියල කියලත් නෑ. තමන් කැමැති නම් කරන්ට. හැබැයි අවංක වෙන්ට තමන්ට. පැහැදිලිද? ඒක මතක තියාගන්ට. මේවා හරි නිදහස්. මේවා හරි නිදහස් ආගම්. බුදු හාමුදුරුවො කොහෙ වත් නීති දැම්මෙ නෑ. මම හිතන්නේ හැම ආගමක්ම නිදහස්. පසුකාලීනව යම් යම් අය නීති-රීති මඟින්, නොයෙක් දේවල්වලින් බලය තර කරගන්ට ගියාට එහෙම නෑ.

එතකොට දැන් මේ සීලය ඇති කරගන්න කෙනා තමයි ඊට පස්සෙ සමාධියට යන්නෙ. එතන දැන් කිව්ව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල.

මොකක්ද ‘සම්මා වායාම’ කියන්නෙ? දෙනව උත්තරේ. මම දන්නව: නිවැරදි වෑයම. ඒවා හරියන්නෙ නෑ. සම්මා වායාම කියන්නෙ මොකක්ද කියල බුදුහාමුදුරුවො කිව්ව. සම්මා වායාම කියන්නෙ තවත් දේශනාවල බොහෝ තැන්වල සඳහන් වෙනව සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල. ඒ වචනෙ අහල ඇති සමහර විට. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මොකක්ද වායාම? මොකටද අපි වෑයම් කරන්නෙ? උපන් අකුසල් ප්‍රහාණය කිරීමට. ඒ එකක්. අනික් එක තමයි: නූපන් අකුසල් නූපදවීමට. අනික් පැත්තෙන් ඊළඟට කියනව උපන් කුසල් රැකගැනීම සහ නූපන් කුසල් උපදවාගැනීම. පැහැදිලියි නේද කියපු දේ? උපන් කුසල් රැකගන්ටත් ඕන; පවත්වාගෙන යන්ටත් ඕන. නූපන් කුසල් ඇති කරගන්ටත් ඕන. අනික් පැත්තෙන් උපන් අකුසල් නැති කරන්ටත් ඕන. ඒ කියන්නෙ: ප්‍රහාණය කරන්ට ඕන. නූපන් අකුසල් නූපදවන්ට ඕන. මෙන්න මේකට කරන වෑයම. මේකට කියන්නෙ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල. මෙන්න මේ කියන වෑයම සතර සම්‍යක් ප්‍රධාන වෑයම. දැන් වායාම කියන කොට මෙතන වචන දෙකක් පැහැදිලිව සඳහන් වුණා. අකුසල් සහ කුසල් කියල.

දැන් එතකොට ප්‍රශ්නයක් වෙනව: මොනවද කුසල්? මොනවද අකුසල්? කියල. මේ රටේ හරි ආන්දෝලනයක් තියෙනව මේ කාලෙ. ධර්ම දේශනා අහන කොට ඇහෙනව, ධර්ම සාකච්ඡාවේදී බොහෝ අය ප්‍රශ්න කරනව කුසල් මොනවද? අකුසල් මොනවද? කියල. මේවට අර්ථකථන විවිධ විවිධ ඒවා එකඑක්කෙනාට ඕන ඕන විදියට දෙන්ට පුළුවන්. මේ වචන දෙක බුදු හාමුදුරුවො එක එක තැන්වල සඳහන් කරල තියෙනව. හැබැයි මොන දේ වුණත් අපි වාදෙට යන්ට ඕන නෑ. අපි මේ දේශනාවට අදාළ තැන මේ කුසල් සහ අකුසල් මොනවද කියල බලාගත්තම හොඳටම ප්‍රමාණවත්.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2015 ජනවාරි



අමතන්න

නව තොරතුරු ලබාගැනීම සඳහා අපගේ විද්යුත් ලැයිස්තුව සඳහා ලියාපදිංචි වන්න.



මෙම වෙබ් අධවිය පිළිබඳව ඔබගේ මිතුරන් දැනුවත් කරන්න



අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන්ගේ විස්තර ඇතුලත් අනෙකුත් වෙබ් අධවි :

    


 
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ ගෙෳතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුදු දහම සොයන පිරිසක් විසිනි.

අපගේ අරමුණ කිසිවකුට පහර ගැසීම හෝ අවමන් කිරීම නොව, සංස්කෘතික හා සම්ප්‍රදායක හේතූන් මත වැලලී ගිය නිර්මල බුදු දහම ඉස්මතු කිරීමේ උත්සාහයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!