සිංහල  |  தமிழ்  |  English  |  日本人
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි

දානය කියන්නේ දීම - අතහැරීම - පරිත්‍යාගය


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ ගේ දේශනා ආශ්‍රයෙන් ලියූ කෙටි ලිපියකි.)

දානය කියන්නේ දීම - අතහැරීම - පරිත්‍යාගය. බෞද්ධ අය විතරද දන් දෙන්නේ .......? නෑ. ක්‍රිස්තියානි, හින්දු ,ඉස්ලාම් කවුරුත් දන් දෙනවා. ඒ අය දන් දෙන්නේ සුගති සම්පත්, දිව්‍යලෝක සම්පත් වගේ දේවල් අරමුණු කරගෙන. ඒක ලෞකික සැපයට අයත්.

බෞද්ධයාගේ දන්දීම කියන්නේ එයට වෙනස් දෙයක්. මොකද අනෙක් ශාස්තෘවරුන් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියපු ලෝකය බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. එහෙම නම්, බෞද්ධයා දන් දිය යුත්තේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයෙන් මිදීම සඳහා. එතැන ලෝභ සිතක් නෑ. පිරිසිදු සිතක් තියෙන්නේ.

මොනවාද අපට දන් දෙන්න පුළුවන්.......? බඩගින්නේ ඉන්න අයට ආහාර දෙන්න පුළුවන්. ඇඳුම් නැති අයට ඇඳුම් දෙන්න පුළුවන්. දුප්පත් නැති බැරි ළමයෙකුට පොතක්. පෑනක්. පැන්සලක්. සපත්තු කුට්ටමක් වගේ දෙයක් අරන් දෙන්න පුළුවන්. ගවුමක්, කමිසයක්, කලිසමක් මහලා දෙන්න පුළුවන්. අසනීපයෙන් ඉන්න කෙනෙකුට බෙහෙත් දෙන්න පුළුවන්, උපස්ථාන කරන්න පුළුවන්. නිවසක් නැති කෙනෙකුට නිවසක් තනා දෙන්න පුළුවන්. මේවාට කියනවා ආමිස දාන කියලා.

දුකට භියට පත්වුන කෙනෙකු ළඟට ගිහින්, වචනයකින් දෙකකින් පුළුවන් නම්, ඔහුගේ දුක භිය සමනය කරන්න " බය වෙන්න එපා, අපි ඕන දෙයකට ඔබ ළඟ ඉන්නවා, අපි ඔබට පිහිට වෙනවා කියලා" ඒකට කියනවා අභය දානය කියලා.

නැති බැරි ළමයෙකුට පාඩමක් කියල දෙන්න පුළුවන්. තමන් දන්න ශිල්පයක්, ශාස්ත්‍රයක් උගන්වන්න පුළුවන්. කාට හරි අවවාදයක්, උපදේශයක් අවශ්‍ය තැනකදි නොපැකිළිව දෙන්න පුළුවන්. දුස්සීල කෙනෙකුට සිල්වත් වන හැටි කියා දෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට සම්මා දිට්ඨිය ඇතිවන විදිහට ධර්මය කියා දෙන්න පුළුවන්. සසර කෙළවර කරන්න වීර්ය කරන කෙනෙකුට සතර සතිපට්ඨානය වඩන හැටි කියා දෙන්න පුළුවන්. මේකට කියනවා ධර්ම දානය කියලා.

නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද අවිහිංසා සංකල්පනා මුල් කරගෙන තමයි අපි දන් දෙන්න ඕනේ. අපි දෙන දේ ලබාගෙන ඔහු සුඛිත මුදිත වේවා කියන කරුණා මෛත්‍රී සිත පෙරදැරි කරගෙන තණ්හාව දුරුකර ගැනීම සඳහා දෙන දානය තමයි සැබෑ බෞද්ධ දානය වෙන්නේ.

නෙක්ඛම්ම චේතනාවෙන් දෙනකොට නිවන තමයි ඉලක්ක වෙන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ චේතනාවෙන්, කුසලය වැඩීමේ චේතනාවෙන්, සිතේ කෙළෙස් අඩුකර ගැනීමෙි චේතනාවෙන්, දෙන දානය මහත් ඵලයි, මහානිසංසයි.

බුදුහාමුදුරුවෝ දානයේ ආනිසංස මෙහෙම විස්තර කරනවා. මිනිසුන්ට ප්‍රියයි දන් දෙන කෙනා. එයාගේ යහපත් කීර්ති රාවය ඉබේම පැතිරෙනවා. ඕන සභාවකට එයා නිර්භීතව යනවා. සත් පුරුෂයන්ගේ ආශීර්වාදයට ලක්වෙනවා.

ආයෙත් නම් ගහන්ට ඕන නෑ. බෝඩ් ගහන්න ඕන වෙන්නේ නෑ. දැන්වීම් දාන්න ඕනෙත් නෑ. ශබ්ද විකාශන යන්ත්‍ර දාල රටට ප්‍රචාරය කරන්න ඕන වෙන්නේ නෑ. බෙර ගහන්න ඕන නෑ. නිස්කලංකව නිශ්ශබ්දව දෙන කොට කටින් කට යනවා. කවුරුත් දන්නවා.