සිංහල  |  தமிழ்  |  English  |  日本人
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි

බුදුන් වහන්සේගේ ඉගැන්වීම කුමක්ද ?


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ විසින් ප්‍රායෝගික අත්දැකීම් සහිතව කල දේශනා අඩංගු " ගෞතම බුදුන් වහන්සේ වඳාළ නිවන් මග " පොතින් උපුටා ගන්නා ලද කරුණු ඇතුලත් කෙටි ලිපියකි.)

"බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්, දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්. බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා. ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා. එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ. ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ. "


" බුදුන් වඳාළ ධර්මය " මේකට අපට පැහැදිලිවම උත්තර දෙන්න පුළුවන් තැන තමයි, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුලින්ම කළ දේශනාව.
ඒ දේශනාව තමයි අපි කවුරුත් දන්න ධම්ම චක්ක සූත්‍රය. මෙතනින් තමයි අපට මේ උත්තරය සොයා ගන්ට වෙන්නේ. ‍මොකක්ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම කියලා.

බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරන්න පටන් ගෙන, මුලින්ම සත්‍යය හතරක් ගැන කථා කළා. මම මේ කෙටියෙන් කියන්නෙ, මුල් සූත්‍රයේ තියෙන දේ කතන්දරේ වගේ අග මුල ඔක්කොම ගන්නේ නැතිව, අපට වැදගත් වන්නේ දහම් කොටස නිසා.එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද ? සත්‍යය හතරක් කිව්වා, උතුම් සත්‍යය හතරක්. අපි ඒකට කියනවා " චතුරායර්‍ය සත්‍යය " කියලා.

පලමුවන සත්‍යය කුමක්ද ? " දුක්ඛ ආර්ය සත්‍යය " මුලින්ම බුදුන් වහන්සේ දුක ගැන විස්තර කළා. ඒ දුක්ඛ සත්‍යය බුදුන් වහන්සේ විස්තර කරනවා කවුරුත් දන්න පාළියෙන් කියන විදියට " ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, පියෙහි විප්පයොගො දුක්ඛො...... " ආදී වශයෙන්. ඒ කියන්නේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩ වීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීමත් දුකයි, කැමති දේ නොලැබෙනවා නම් ඒකත් දුකයි...... මෙන්න මෙහෙම කියාගෙන ගිහින් අන්තිමට කිව්වා...... " සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියලා ඒ කියන්නෙ " කොටින්ම කියනවා නම් මේ පඤ්ච උපාදානස්කන්ධයම තමයි දුක " කියල උන් වහන්සේ කිව්වා.

ඉතින්, මේ දේශනාව හරිම වැදගත්. අපි අහගෙන ඉන්නකොට අපි දන්නවා අද නූතන අධ්‍යාපන ලෝකය දිහා බලනකොට අපි යමක් ඉගෙන ගන්නේ හුඟාක් වෙලාවට දන්නා දේ හරහා නොදන්නා දේ කරා යනවා කියලා කවුරුත් අහලා ඇති උන් වහන්සේ තමයි ලෝකයේ මුලින්ම මේ ක්‍රමය පාවිච්චි කළේ.

මේ කියපු දුක් වලින් එහා දුකක් ලෝකේ කාටවත් හිතාගන්නවත් බෑ ඉපදීමෙන් පටන් අරගෙන අවසානය දක්වා කියාගෙන ගිය දුක් ගොඩ කවුරුත් දන්නවා. මේ භවයේදීම, මේ ජීවිතයේදීම හැමදෙනාම මේ දුක අත් විඳිනවා, ඒ ගැන කියන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ටික පාවිච්චි කළේ.

නමුත් බුදුවරු පහල වෙන්නේ මේ දුක ගැන කියන්න නම් නෙවෙයි. මෙයින් එහා දෙයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ කිව්වේ අර සංඛිත්තෙන පඤ්චඋපාධානස්කන්ධා දුක්ඛා කියලා...... මේ පඤ්චඋපාධානස්කන්ධ කියන දුක මුලින්ම දැන ගත්තේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේ. මෙන්න මේක තමයි උන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ඨ ධර්මය.

මෙන්න මේ පඤ්චඋපාධානස්කන්ධ දුක දැන ගැනීම කරන විදිහ තමයි බුදුන් වහන්සේ අපට දේශනා කළේ. ප්‍රධාන දුක පඤ්චඋපාධානස්කන්ධ දුක තමයි මෙතන තියෙන දාර්ශනික අර්ථය. බුදුවරු පහළ වෙන්නේ මේක කියන්ටයි.මේක තමයි උන් වහන්සේලා සොයා ගත් පරම සත්‍යය.

මේ දුක ඉබේ හටගත් දෙයක් නෙවෙයි. කවුරුවත් මවපු එකකුත් නෙවෙයි. මේ දුක හේතුවක ඵලයක්. මේ දුක හටගත්තේ කිසියම් හේතුවක් නිසා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අන්න ඒ හේතුව වශයෙන් දේශනා කළා.
"දුක්ඛ සමුදය ආර්ය සත්‍යය " කියන එක. මොකක්ද ඒ දුකට හේතුව ? මේ කියන දුක හටගත් හේතුව තමයි " තණ්හාව. "

තණ්හාව කීවාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තණ්හාව තුනක් වශයෙන්, ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.

මනුෂ්‍යයා තුල ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ ආයතන හය හරහා බාහිර ලෝකයෙන් එයට අදාල අරමුණු, ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශය, මනසට සිතිවිලි වශයෙන්. මෙන්න මේ අරමුණු අරගෙන විඳින එක, සැපයි කියල ආශ්වාද කරන එක තමයි මිනිසුන් කරන්නේ. මේකට තියෙන ආශාව නැත්නම් මේකට තියෙන තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ අදහස් කළේ කාම තණ්හා කියලා.

භව තණ්හා කියන්නේ යළි යළිත් නැවත නැවතත් ඉපදෙන්න තියෙන ආශාව.

විභව තණ්හා කියන්නේ නැවත නැවත ඉපදෙන්නේ නෑ, මෙතනින් අවසානයි, ඉන්න කල් සැප විඳළ මැරිල යන්න ඕන කියන චේතනාව.

තුන්වන ආර්ය සත්‍යය තමයි, දුක නැති කිරීම, දුකෙන් මිදෙන තැන, දුකින් මිදීම, මොකක්ද කරන්න ඕන දුකෙන් මිදෙන්න නම්........? දුකින් ම්දීම කියලා කියනනේ මොකක්ද ? මේ තණ්හාව අවසාන කිරීම, නිරවශේෂ නිරෝධය, කිසිම ඉතිරියක් නැතිව, මේ තණ්හාව මුලුමනින්ම නැති කරල දැම්මා නම්, එදාට මේ දුක ඉවරයි. ඒක තමා " දුක්ඛ නිරෝධ සත්‍යය " තණ්හාවේ කෙළවර. තණ්හාව අවසාන කිරීම.

ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා මේ තණ්හාව කෙළවර කරන ක්‍රමයක් තියෙනවා. අපිට ඕන ඕන විදිහට කරන්න බෑ. ඒ ක්‍රමය තමයි " දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය " කියල බුදුහාමුදුරුවෝ දේශනා කළා.
කොහොමද මේ දුක නැති කරන්නේ. අංග අටකින් යුක්ත ක්‍රියා මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පුරපුවාම මේ දුක අවසාන වෙනවා. නිරෝධයට පත්වෙනවා. මොකක්ද මේ අංග අටකින් යුක්ත මාර්ගය කියල කියන්නේ.....

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.

මොකක්ද " සම්මා දිට්ඨිය " කියල කියන්නේ ?
දුක්ඛේ ඤාණං - දුක පිළිබඳ දැනීම අවබෝධය, ඊළඟට දුක්ඛ සමුදයේ ඤාණං - දුකට හේතුව මොකක්ද කියල ඒ පිළිබඳ ඇති කර ගන්නා දැනුම, ආරම්භක වශයෙන් ඇති කර ගන්නා දැනුම, දුක්ඛ නිරෝධෙ ඤාණං - දුක නැතිකර ගැනීම පිළිබඳ දැනුම, ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං - දුක නැති කරන මාර්ගය පිළිබඳ දැනුම. එහෙමනම් ඉතාම පැහැදිලියි සම්මා දිට්ඨිය කියන්නේ චතුරායර්‍ය සත්‍යමයි. චතුරායර්‍ය සත්‍යය පිළිබඳ දැනුමම තමා සම්මා දිට්ඨිය කියන්නේ.

සම්මා දිට්ඨිය තමයි ප්‍රධානම සාධකය බෞද්ධයෙක් වීමට. මොකද ඒ සම්මා දිට්ඨිය තියෙන්නේ බුද්ධ දේශනාව තුල පමණයි.

ඊළඟ මාර්ග අංගය සම්මා සංකප්ප. මොකක්ද සම්මා සංකප්ප - නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා

මොනවාද නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ.......?
අපි ජීවත් වෙනවා කියලා මොකද කරන්නේ ? ඇස පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, ..... සැප විඳිනවා කියලා අපි කරන්නේ, මෙන්න මේ ඉන්ද්‍රිය පිනවීම. මෙන්න මේ ඉන්ද්‍රිය පිනවන එකේ තමයි අපේ චේතනාව තියෙන්නේ. මේවාට කියනවා කාම සංකල්පනා කියලා.

සාමාන්‍ය රටේ ලෝකේ ජනතාව ඉන්නේ මේ කාම සංකල්පනාවල. හැම වෙලාවෙම හිත තියෙන්නේ කාම විතර්කවල. අපි මෙච්චර කල් මොනවද කළේ.....? කාම සංකල්පනාවල ඉඳගෙන මේ ඉන්ද්‍රිය පිනවන්න අවශ්‍ය කරන සම්පත් සොයන එක, උපයන එක, රැස් කරන එක, ගොඩ කරන එක.
කාම සම්පත් හරි සීමිතයි. මේවා එකතු කරන්න රැස් කරන්න යනකොට අපේ අතින් නිතැතින්ම සිදුවෙනවා විහිංසා ව්‍යාපාද දෙක.

මේ දුකට හේතුව කාමනෙ. එහෙම නම්, අපි තීරණය කරනවා මේ කාම සංකල්පනාවන්ගෙන් මිදෙන්න. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනා කියලා. අපි නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගන්න කොට, කාමයන්ගෙන් මිදෙනවා කියල හිතනකොට මොකද වෙන්නේ......., ව්‍යාපාද විහිංසා වෙනුවට අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ඇති කර ගන්නවා.

කාමයන්ගෙන් මිදීමට නම් කරන්න ඕන ප්‍රධානම කාර්යය තමයි දානය. දීම, පරිත්‍යාගය, අතහැරීම. මේ දුකට හේතුව තණ්හාව නම්, රැස් කිරීම නම්, දුකෙන් මිදෙන්නට අපි අත්හැරීම පුරුදු කරන්න ඕන. කරුණා මෛත්‍රී සිත දියුණු කරගන්න ඕන.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනම එකටම වගේ ක්‍රියාත්මක කරන්න ඕන. මොනවාද මේවා......? මේ තුන අයිති වන්නේ සීලයට. එතකොට සීලය කියල කියන්නේ මොකක්ද ? සංවරය, හික්මීම. සංවර කර ගන්න ඕන අපි කය සහ වචනය කියන දෙක.

අපේ වචනය අසංවර වෙලා තියෙනවා කරුණු හතරකින්. බොරු කීම, කේළම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීම. මේවායින් වැළකුණා නම් සම්මා වාචා.

සම්මා කම්මන්ත කියල කිව්වේ, ශරීරය පාවිච්චි කරල කරන අකුසල කර්ම තුනට. පරපන නැසීම, නුදුන් දේ ගැනීම, සහ පරදාර සේවනය, ඔය තුනෙන් වැළකුණා නම් කය සංවරයි.

සම්මා ආජීව කියල කියන්නේ මිත්‍යා ආජීවයෙන් වැලකීම. එතකොට මිත්‍යා ආජීවය කියල කියන්නේ මොකක්ද ? සරලව ගත්තොත් කියන්ට තියෙන්නේ මිනිස්සු ජීවත්වීම සඳහා කරන සට කපටකම්, කපටිකම් අන්න ඒවායින් වළකින්න ඕන. බොහොම ධාර්මිකව කපටිකමින් තොරව අවංක ඍජු ජීවන ප්‍රතිපදාවක් තියෙන්න ඕන

ඔය ටික කරගත්තු කෙනා තමයි ඊළඟට සමාධි ස්කන්ධයට, භාවනාවට යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මොනවද මේ භාවනාව කියල කිව්වේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.

මොකක්ද මේ සම්මා වායාම කියන්නේ....., බුදුහාමුදුරුවෝ කිව්වා සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට කියලා. මොකක්ද සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ......,
උපන් අකුසල් ප්‍රහාණය කිරීම
නූපන් අකුසල් නූපදවීම
උපන් කුසල් රැක ගැනීම
නූපන් කුසල් උපදවා ගැනීම
මොනවාද මේ කුසල් අකුසල් කියන්නේ...., මෙතන අකුසල් කියන්නේ නීවරණ වලට. නීවරණ කියල ජාතියක් හිතේ තියෙනවා. සෑම කෙනෙක්ගේම සිත ප්‍රභාශ්වරයි, බැබළෙනවා. ඉතාම ශක්තිමත් හිතක් තියෙන්නේ. මැණික් ගලක් වගේ ඉතාම ප්‍රභාශ්වරයි. නමුත් බාහිරින් ආපු අකුසල් නිසා අකුසල දහම් නිසා ඒ ප්‍රභාශ්වරය නැතිවෙලා ගිහිල්ලා තියෙනවා. හරියට අර මැණික් ගලේ දූවිලි බැඳිල වගේ. අන්න එහෙම හිතේ තියෙන ප්‍රභාශ්වරය වැහිල ගිය කරුණු පහක් තියෙනවා. ප්‍රභාශ්වරය වහන නිසා ඒකටයි නීවරණ කියල කියන්නේ. අන්න ඒ නීවරණ පහක් තියෙනවා. අන්න ඒ නීවරණ තමයි බුදුහාමුදුරුවෝ මෙතන අදහස් කළේ. අකුසල් කියලා. බුදුහාමුදුරුවෝ එක සූත්‍රයක කියනවා අකුසල් කියන්නේ, නීවරණ කියන්නේ, කෙ‍ළෙස් කියන්නේ මොනවද ? මෙන්න මේ පහට. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච - කුක්කුච්ච, විචිකිච්ඡා.

කාමච්ඡන්ද කියල කිව්වෙ ඇස කණ නාසය ආදී දොරටු ද්වාර වලින් අරමුණු අරගෙන ආශ්වාද කරන්නට තියෙන ආශාව, ඉන්ද්‍රිය පිනවන්ට තියෙන ආශාව

ඊළඟ දේ තමයි ව්‍යාපාදය. ප්‍රිය අරමුණු හැමවිටම ලැබෙන්නේ නෑ. ප්‍රිය අරමුණේ ඇලෙනවා. අප්‍රිය අරමුණේ ගැටෙනවා. අන්න ව්‍යාපාදය හටගන්නවා. තරහව, ඒකට කිව්ව ව්‍යාපාදය කියලා.

තුන්වන එක මොකක්ද ? ථීනමිද්ධ කියල කිව්වෙ. සිතේ සහ කයේ තියෙන කම්මැලිකම, මැළි බව, අලස ස්වභාවය. හැබැයි අකුසල් කරන්න එහෙම නෙවෙයි. කුසල් දහම්හි යෙදෙන්ටයි කම්මැලි.

හතරවෙනි එක තමයි උද්ධච්ච - කුක්කුච්ච
මෙතන උද්ධච්ඡ සහ කුක්කුච්ච කියල නීවරණ දෙකක් තියෙනවා. උද්ධච්ච කියල කියන්නේ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුන ස්වභාවයට. කුක්කුච්ච කියල කිව්වේ. සෝවාන් වෙලා නැති සියලු පෘථග්ජනයන් තුළ අනිවාර්යයෙන්ම තියෙනවා තමා කරපු අකුසල කර්ම පිළිබඳ හිතේ තැවෙන ස්වභාවයක්. ඒ වගේම කුසල් කරන්න අවස්ථා ලැබුන වෙලාවල් වලදී නොකර ඉඳලා පසුව ඒ ගැන දුක් වෙනවා මේක තමයි කුක්කුච්ච කිව්වේ. කළ අකුසල් පිළිබඳ තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් පිළිබඳ තැවෙන ස්වභාවය.

පස්වෙනි එක තමයි විචිකිච්ඡාව. බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව, පරලොව පිළිබඳව, සුගතිය දුගතිය ආදී විවිධ දේවල් පිළිබඳව සැකයි. මේවා නුවණින් දකින්න ඕන දේවල්. ඉතින් හැම දෙයක් කෙරෙහිම සැක කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි විචිකිච්ඡාව.

ඊළඟට බලමු කුසල් කියන්නේ මොනවාද කියලා. අභාවිත සිතක, භාවනා කරන්නේ නැති සිතක හැම වෙලාවෙම නීවරණ පහ තියෙනවා. ඒවා එක එකක් අඩු වැඩි වශයෙන් තියෙනවා. කාමච්ඡන්දය තියෙන වෙලාවට ඒක උපන් අකුසලයක්. ඒ වෙලාවට ව්‍යාපාදය නෑ. එතකොට ව්‍යාපාදය ඒ වෙලාවට නූපන් අකුසලයක්. දැන් සමථ භාවනාව කරගෙන යනකොට මේවා යටපත් වෙනවා. පඤ්ච නීවරණ යටපත් වෙනකොට මතුවෙනවා හිතේ ප්‍රභාශ්වරය. ප්‍රභාශ්වර සිතක තියෙනවා ධ්‍යාන අංග.ඒවා තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ .ඒකාග්ගතා.

ප්‍රථම ධ්‍යානය තුල තියෙනවා ඔය අංග පහම. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්ගතා කියන ධ්‍යාන අංග පහම. දුතිය ධ්‍යානයට යනකොට විතක්ක විචාර දෙක නෑ. ප්‍රීති, සුඛ, ඒකාග්ගතා පමණයි. ඊට පස්සෙ තෘතිය ධ්‍යානයට යනවා. එතෙන්දි ප්‍රීතියත් අතහරිනවා. එතකොට ඉතිරි වෙන්නේ සුඛය හා ඒකාග්‍රතාව පමණයි. චතුර්ත ධ්‍යානයට යනකොට සුඛයත් අතහරිනවා, අන්තිමට ඉතිරි වෙන්නේ ඒකාග්‍රතාව පමණයි.

මෙන්න මේ ධ්‍යාන තමයි කුසල් කියල කිව්වේ. එතකොට නීවරණ යටපත් කරල ධ්‍යාන සිත් ඇති කර ගැනීම තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම කියන්නේ.

අකුසල් යටපත් කරල කුසල් මතුකර ගත්තාම ප්‍රභාශ්වර සිත. අන්න ඒ සිතට පුළුවන් ලෝකෙ තියෙන ඕනෑම ගැඹුරු ධර්මතාවයකට මේ සිත යොමු කරන්න. අන්න ඒ සිත තමයි අපි යොමු කරන්නේ සම්මා සතියට.

එතකොට සම්මා සතිය කියන්නේ මොකක්ද ? සිහිය පිහිටුවන්න ඕන තැන.
කොහේද සිහිය පිහිටුවන්නේ..... සතර සතිපට්ඨානය තුල. සිහිය පිහිටුවන තැන් හතරක් තියෙනවා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව සහ ධම්ම පිළිබඳව. එතකොට මේ සතර සතිපට්ඨානය තමයි, ඒක වඩන එක තමයි සම්මා සති කියල කියන්නේ.

බුදුවරු පහළ වෙන්නේ ලෝකෙට සතර සතිපට්ඨානය කියල දෙන්න. බුද්ධ දේශනාවේ, බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ හරය අරටුව මොකක්ද ? මෙන්න මේ සතර සතිපට්ඨාන භාවනාව. මේ සතර සතිපට්ඨාන භාවනාව වැඩුවොත් විතරයි නිවනට යන්න පුළුවන්. දුකින් මිදෙන්නට පුළුවන්.

අනෙකුත් ආගම්වල සතර සතිපට්ඨානය හැර අනෙකුත් සියලු දේවල් තියෙනවා. අනෙකුත් ආගමිකයෝත් දන් දෙනවා. අනෙක් ආගම් වලත් සීලය තියෙනවා. භාවනා තියෙනවා. නමුත් ඒවා ලෞකිකයි. ඒවාත් අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. ඒවාත් ලෝකෙට අයිතියි. ඒවා පරම සත්‍යය නෙවෙයි. එහෙම නම් පරම සත්‍යය හොයන භාවනාවක් දැන ගන්න ඕන. මොකක්ද ඒක.....? ඒක සොයා ගන්න තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළේ. මොකක්ද සොයා ගත්තේ......? මෙන්න මේ කියන සතරසතිපට්ඨාන භාවනාවටයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සති කියල කිව්වේ.

සතිපට්ඨානය වඩන්නට අපට උවමනා කරනවා ප්‍රධාන සාධක හතරක්. වීර්යය, නුවණ, සිහිය සහ උපේක්ෂාව. උපේක්ෂාව කියන්නෙ මධ්‍යස්ථ බව, ඇලීමෙන් ගැටීමෙන් තොරයි කියන එක. එළඹ සිටි සිහිය. මිනිසුන්ගේ සිත් හැම වෙලාවෙම තියෙන්නෙ අතීතයේ, නැත්නම් අනාගතයේ. මේ අතීතය මියගිය දෙයක්. අනාගතය නූපන් දෙයක්, අතීතය මැරිලා අනාගතය ඉපදිලා නෑ. එහෙමනම් සිත වර්ථමානයට ගේන්න ඕනේ. ඒකට කියනවා එළඹ සිටි සිහිය කියලා.

සමථයෙන් තොර විදර්ශනාවක් නෑ. සමථයට තමයි සම්මා වායාම කිව්වේ. විදර්ශනාවම තමයි සතරසතිපට්ඨානය කියන්නේ.

සම්මා සතිය වඩනකොට මොකද වෙන්නේ...?
කය පිළිබඳ කයේ යථා ස්වරූපය පිළිබඳව අපි බලනවා. වීර්යයෙන් නුවණින් හා සිහියෙන්, ඇලීමෙන් හා ගැටීමෙන් තොරව

වේදනාව පිළිබඳව බලනව අපි, ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්,

ඊළඟට සිත පිළිබඳ අපි බලනවා, සිතේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව, වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්,

ඊළඟට ධම්ම. සිතට මනසට ගෝචර වන දේවල් ධම්ම දිහා අපි බලනවා ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව, වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්.

ඔන්න සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ සිහිය දිගින් දිගටම පවත්වාගෙන යන කොට මොකද වෙන්නේ, පඤ්චඋපාධාන ස්කන්ධ ‍ලෝකය ඇතිවෙමින් නැතිවෙමින් යන හැටි දකින්ට පටන් ගන්නවා

කයේ තියෙන සියලු රූප ඇති වෙනවා, නැතිවෙනවා ක්ෂණයක් ක්ෂණයක් පාසා, රූප මිටි වශයෙන් කලාප වශයෙන් ඇතිවෙනවා, නැති වෙනවා දකින්න පටන් ගන්නවා.

සිත මොහොතින් ‍මො‍හොත අහස වගේ වෙනස් වෙවී වෙනස් වෙවී යන හැටි දකිනවා. විවිධ සිත් පහළ වෙනවා, අතුරුදහන් වෙනවා දකිනවා.

වේදනා සියලු විඳීම් සැප වේදනා දුක් වේදනා ඇති වෙවී නැති වෙවී යන හැටි දකින්න පටන් ගන්නවා. පඤ්ච නීවරණ,ස්කන්ධ ආයතන ක්‍රියාකාරකම් දකින්න පටන් ගන්නවා. මෙන්න මේ දකින්නෙ මොනවාද ? ඇතිවීම නැතිවීම. ඒ කිව්වේ අනිත්‍ය. මේ අනිත්‍ය දකිනකොට නිත්‍යයි සුඛයි කියල අල්ලගෙන හිටපු හිතට මේ පඤ්ච උපාධානස්කන්ධය අල්ලන් ඉන්න බැරුව යනවා. අතහරින්න පටන් ගන්නවා.

ඊට පස්සෙ ඒ හරහා ආධ්‍යාත්මික වශයෙන් මහා ක්‍රියාකාරිත්වයක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාකාරිත්වය හරහා, මේ සිදුවන ක්‍රියාවලිය හරහා වැඩෙනවා සමාධියක්. අනන ඒකට කිව්වා සම්මා සමාධිය කියලා.

බොජ්ඣංග වඩනවා කියල කියන්නෙ මේකමයි. සති සම්බොජ්ඣංගය වඩනවා. සතර සතිපට්ඨානය පිළිබඳ සිහිය ධම්ම විචය, සතිය වැඩෙන කොට, සතර සතිපට්ඨානයේම සිහිය වඩාගෙන යනකොට, සිහිය රදවාගෙන යනකොට, ධම්ම විචය වැඩෙන්නට පටන් ගන්නවා. ධම්ම විචය කියන්නේ අනිත්‍ය දකින්න පටන් ගන්නවා. දුක අනාත්මය දකින්න පටන් ගන්නවා.

ඊළඟට වීර්යය සම්බොජ්ඣංගය, වීර්යයක් මහා වීර්යයක් වැඩෙනවා මේවා දකිනකොට. ලෝකයේ කවදාවත් නොදැකපු ඇත්ත දකිනකොට.

ප්‍රීතියක් මහා ප්‍රීතියක්, සතුටක් දැනෙනවා සිතට. ඊළඟට පස්සද්ධි මහා සැහැල්ලුවක්, කයත් සැහැල්ලුයි සිතත් සැහැල්ලුයි. අහසේ ඉන්නවා වගේ. බඩගිනි දැනෙන්නේ නෑ. එහේ මෙහේ රට වටේ ඇවිදින්න දුවන්න හිතෙන්නෙ නෑ. අරමුණු මොනවත් එන්නේ නෑ. පුදුම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.

ඊළඟට සමාධියක් වැඩෙනවා, ඒ තුළ මහා විශාල සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක්. චිත්ත ඒකාග්‍රතාවය ඇති වන්නේ සතිපට්ඨානය මතමයි රැදෙන්නේ. මෙන්න මේ සමාධිය යනවා ඊළඟට උ‍පේක්ෂාවට. මෙන්න මේ උපේක්ෂාව ඊට පස්සෙ යනවා විමුක්තියට.

මුල් වරට විමුක්තිය ලබනවා. විමුක්ති සිත පහළ වෙනවා. ඒකට කියනවා " සෝතාපන්න " කියලා. සෝවාන් ඵලයට පත්වුනා කියලා. මේ ලෝකයේ සත්වයින් සසරට බැඳ තබන රැහැන් දහයක් තියෙනවා. ඒවාට කිව්වා සංයෝජන කියලා. සෝවාන් ඵලයට පත්වෙනකොට, පළවෙනි වරට ලෝකෝත්තර සිත පහළ වෙනකොට අන්න ඒ සංයෝජන දහයෙන් තුනක් නැතිව යනවා - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.

ඒ වෙලාවෙ කය පිළිබඳව ආත්ම දිට්ඨිය නැතිව යනවා. ආත්ම දිට්ඨිය බිඳෙනවා.ඊළඟට විචිකිච්ඡාව බුද්ධ ධම්ම සංඝ කෙරේ සැකයක් නෑ. මුල් වරට සිත මිදුනා කියලා කියන්නේ නිවන දැක්කා. ඒ හින්ද නිවන ගැන සැකයක් මාර්ගය පිළිබඳ සැකයක් නෑ. ආර්ය සංඝයා කෙරෙහි සැකයක් නෑ. සෝවාන් කියන්නේ ආර්ය පුද්ගලයන්ගෙන් එක් කෙනෙක්. එයා ළඟ සීලබ්බත පරාමාස නෑ. එයා ආයෙ කවදාවත් වෙන වෙන ඇඳහිලි, පුඳ පූජා පස්සේ යන්නේ නෑ. ඔහු ආයේ කවදාවත් නිරයට යන්නේ නෑ. තව දුක තියෙනවා. වැඩිම වුනොත් භව හතකට. එතැන් සිට ඒ භව හත තුල රහත් වෙනවාමයි.

මේ ආත්මෙම එයා යළිත් සතර සතිපට්ඨානය වඩාගෙන ගියාම නැවත වරක් ඔහු අර විදියටම සමාධිය වඩල, බොජ්ඣංග වඩල දෙවන වරටත් සිත මිදෙනවා. එ් මිදෙන කොට අර දස සංයෝජන වලින් ඊළඟට තියෙන කාමරාග, පටිඝ කියන සංයෝජන දෙකෙන් සියයට පනහක් නැතිව යනවා. සම්පූර්ණයෙන්ම නෙවෙයි භාගයක් නැතිව යනව. ඉතිරි කෙළෙස් බලවත් වෙන්නේ එතැන් සිට කාම ලෝකයේ තව එක ආත්මයක් ඉපදීම සඳහා පමණයි.

තවත් සැරයක් එයා ආයෙමත් භාවනා කරගෙන ගියොත්, ඒ වෙලාවෙම ඒ මොහොතේම, පැය කීපයක් තුල, දවසක් දෙකක් තුල, විනාඩි කීපයක් තුල ඊළඟ ඵලයට පත්වෙනවා. කාමරාග පටිඝ කියන දෙක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. සංයෝජන දෙක නැතිව යනවා. ඔහු ආයේ කවදාවත් මනුෂ්‍ය ලෝකෙවත්, දිව්‍යලෝකෙවත් උත්පත්තිය ලබන්නේ නෑ. ඔහු අනාගාමියි. ඔහු උපදින්නේ ශුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ.

ඊළඟට තව සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියල ඉතාම සියුම් සංයෝජන පහක්. ඉතින්, යළිත් අර විදියටම සතර සතිපට්ඨානය වඩාගෙන යනකොට,ඔය කීව කෙළෙස්, ඊළඟට ඉතිරිව තිබුණු අන්තිම කෙළෙස් ටිකත් විනාශ වෙලා හතරවෙනි වරටත් නිවන දකිනවා. අන්න ඒක තමයි සැබෑ විමුක්තිය. අන්න ඒක තමයි අරහත් කියල කියන්නේ. දැන් සංයෝජන දහයම ඉවරයි. ඔහු අායෙත් උත්පත්ති වශයෙන්, කිසිම තැනක උපතක් ලබන්නේ නෑ. එයාට තමා අපි නිවන් දැක්කා කියල කියන්නේ. එයාට තමයි රහතන් වහනසේ කියල කියන්නෙ

මෙන්න මේක තමයි නිවන් මග. මේක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම. බුදුන් වහන්සේගේ දේශනාව. බුදුවරු පහළ වෙන්නෙ මේක කියන්නයි.