සිංහල  |  தமிழ்  |  English  |  日本人
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි

සීලය කියන්නේ හික්මීම, සංවර බව


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ ගේ දේශනා ආශ්‍රයෙන් ලියූ කෙටි ලිපියකි.)

සීලය කියන්නේ හික්මීම, සංවර බව. මොනවායින්ද අපි හික්මෙන්න ඕනේ..., කයින් සහ වචනයෙන්, අපේ වචනය අසංවර වෙලා නියෙනවා හේතු හතරක් නිසා. බොරු කීම, කේලම් කීම, හිස් වචන සහ පරුෂ වචනයෙන්. මේවායින් වැළකුනා නම් අපේ වචනය සංවරයි. ඒකට කියනවා වාග් සුචරිතය කියලා.

ඊළඟට, අපි කය පාවිච්චි කරල වැරදි තුනක් කරනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. මේ තුනෙන් වැළකුනා නම් අපේ කය සංවරයි. ඒකට අපි කියනවා කායික සුචරිතය කියලා.

එතකොට මේක තමයි කායික සංවරය සහ වාචසික සංවරය. ඊට අමතරව, බෞද්ධයින්ට තවත් විශේෂ සීලයක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වෙනවා. ජීවත්වීම සඳහා මිනිසුන් නොයෙක් කපටිකම් කරනවා. වැරදි විදියට ජීවිතය පවත්වා ගෙන යනවා. ඒකට කියනවා මිත්‍යා ආජීවය කියලා. අන්න ඒ මිත්‍යා ආජීවයෙන් වැළකීමත් කරන්න ඕනේ.

කයින් වන වැරදි වලිනුත් වැළකිලා, වචනයෙන් වන වැරදි වලිනුත් වැළකිලා, මිත්‍යා ආජීවයෙනුත් වැළකුනා නම් එය තමයි සැබෑ බෞද්ධ සීලය.

මේ සීලය රැකීමට අපට විශේෂ ස්ථානයකට යාමට අවශ්‍ය නැහැ. මේ සීලය ගැනීමට යම් පුද්ගලයකු ඉදිරියට යාමට ද අවශ්‍ය නැහැ. මේ සීලය රැකීම අප විසින් සහ අප තුලින් කැපවීමෙන් කල යුතු දෙයක්.

එතකොට මේ සීලය අපි රකින්න ඕනේ නින්දෙන් අවදි වූ වෙලාවේ සිට යළි නින්දට යනතුරු කාලයත්, මරණයෙන් ජීවිතය අවසන් වන තුරුම, නිවන් දකින තුරුම.

" දුස්සීල ජීවිතයට වඩා සිල්වත් මරණය උතුම් "
" දුස්සීලව ජීවත්වෙන වසර සියයක ජීවිතයට වඩා එක දවසක් සිල්වත්ව ජීවත්වීම වටිනවා."

සිල්වත් වන කෙනාගෙ, කය වචන සංවර කරගත්ත කෙනාගෙ ආනිසංස ගැන බුදු හාමුදුරුවෝ බොහොම ලස්සනට කියනවා. මෙන්න මෙහෙම,

පළවෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනාගේ සම්පත් භෝග වැඩෙනවා, සම්පත් වර්ධනය වෙනවා, දියුණු වෙනවා.

දෙවෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා කෙරෙහි රට පුරා යහපත් කීර්ති රාවයක් පැතිරෙනවා. ප්‍රසිද්ධියට පත් වෙනවා.

තුන්වෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා ඕනෑම සභාවකට, රාජ සභාවට පවා නිර්භීතව යනවා, එයා භය නෑ, පව් කරන්නේ නෑ, කය වචන දෙක සංවරයි, හරි නිර්භීතයි, සිල්වත් කෙනා වටා මහා පවුරක් වගේ මහා ශක්තියක් ගොඩ නැගෙනවා.

හතරවෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා සිහි මුළා නොවී, මරණයට පත් වෙනවා. සිහියෙන්ම මිය යනවා.

පස්වෙනි ආනිසංසය සුගතිගාමී වෙනවා